Popular Posts

Blogger templates

Blogger news

Blogroll

About

Powered by Blogger.
Sunday, December 27, 2015


හිඟන්නා - කුමාරතුංග මුනිදාස


නැත මා රකිනා මවක් පියෙක්,
නැත නෑදෑ හිතවත් කෙනෙක්  කිසිත්.
අඳුර යි  මුළු ජීවිතේ ම-ගේ,
වෙන නෑ මා වැනි කාලකන්නියෙක්.

අවුලා-ගෙන  කා තැනින් තැනින්
තිරිසන්නුත් සැප සේ ම කල් ගෙවත්.
 ඇවිදත් රට සෑම තන්හි මා
දවසක් වත් කුස ගින්න නිවුනෙ නෑ.


ඇති වන්නට බෑ මෙවන් දුකක්
නිරයේ වත් ඇත හොත් එ නම් තැනක්.
මට මේ ලොව මැ යි අපාය නම්
ඇවිලෙන්නේ ගිනි දැල් පිටින් නොවේ.

එළවා-දමතත් මේ මා දනන්
නිල මැස්සෝ මට ආදරේ කෙරෙත්
හිඟයෙක් පණුවන් හටත් ඇඟේ
නැත,කෑමෙන්  මට බත් පිඬක් නැතත්.

පොහොසත් මෙ ගමේ ම උන් නමුත්
දෙ දිනක් නෑ ලැබුණේ  සහල් මිටක්.
බඩ සා ඉවසා ඉඳීම් කෙසේ?
දෙවියෝ වත් නොදකිත් ද දුක් මෙ වන්?

ලොව ගේ,අහස යි පියස්ස,මේ
පොළොව යි මා ඇඳ ,කොට්ට ගල්මුලුයි.
නො නිඳා-ගෙන ඉන්නෙ මා ඉතින්
කීම මේ සා හොඳ දේ ඇතත් අහෝ!

සිටියත් තව බෝ කලක් මෙ සේ
අඩු වන්නේ නැත දුක් මදක් වුවත්,
විගසින් මෙ දුකින් මිදෙන්න වස්
මරණේ මැ යි  සරණේ ඉතින්,අහෝ!

හිඟමන් දෙන මෙන් බැගෑ බසින්
යැදියත් පෑ ගණනක් හඬා දොඩා
බොහො සේ පොහොසත්තු නම් නො දෙත්.
ලැබෙතෝතින් දිළිඳුන් ගෙනුයි යමක්.

“කැරපන් වැඩ ගොස් හිඟා නො කා
කීම?අත් පා නැතුවා ද? ”ඈ කියා
එළවීම ඉතා ම පාසු වෙයි
“වැඩ  දෙන්නැ”යි කියුවත් වැඩක් නො දෙත්.

පොහොසත් අය ගේ මුදල් දෙතොත්
ගරු නාමත් පදවිත් පතා-ගෙන  යි.
දිළින්දෝ හඳුනත් හොඳින්ම මා දුක්,
හැකි සේ දෙත් එ  හෙයින් යමක් ඇතොත්.

නුදුනත් පොහොසත් දනන් කෙරේ
ම සිතේ නෑ හට-ගන්නෙ කෝපයක්.
නො ලැබෙන්නෙ මා-ගේ ම  දෝසයෙන්
ඔහු  නම් මා වැනි වන්න තැත් කෙරෙත්.

දනයෙන් පෙර පින් බෙලෙන් ලැබූ
පල  ගන්නා හැටි දන්නෙ නෑ ඔවුන්.
එහෙයින් මම නම් ඔවුන් කෙරේ
අනුකම්පාවට සිත් නමා සිටිම්.    

සාහිත්‍ය ලොව පවත්නා කලාංග අතුරින් කවියට හිමිවන්නේ සුවිශේෂ වූ ස්ථානයකි.කවිය බොහෝ විට සමාජ යථාර්තය ස්පර්ශ කිරීමට තරම් සමත්කම් දක්වන අතර එය විශිෂ්ට කලාංගයක් වන්නේ එය සෙසු බොහෝ කලාවන්ට ද මාතෘ කලාවක් වන බැවිනි.කවියක සාඩම්බර හිමිකරුවා වන්නේ කවියාය.ඉතා සුන්දර වදන් කිහිපයකින් පවා යථාර්තය රසිකයාට පහදා දීමට කවිය සමත් කම් දක්වන්නේ ඒ තුල පවත්නා ප්‍රතිභාපුර්ණ බව නිසාය.දිගු ඉතිහාසයකට උරුමකම් කියන  පද්‍ය සාහිත්‍ය කලාවක් අපට ඇත.දක්ෂ ප්‍රතිභාපුර්ණ  කවීන්ගේ සොඳුරු නිර්මාණ වලින් ඒ ලොව පෝෂිතය.කුමාරතුංග මුනිදාසයන් ද පද්‍ය කලා ලොව පෝෂණය කිරීම සඳහා සිය නිර්මාණයන්ගෙන් දායකත්වය සපයා ඇත.ඔහු තින් රචනා කරන ලද ”හිඟන්නා ”නම් පද්‍ය පන්තිය මගින් අප සමාජයේ එක පැති කඩක් විවරණය කරයි.

හිඟන්නා යනු අප සමාජයේ බොහෝ විට ප්‍රතික්ෂේප වන චරිතයකි.ඔවුහු එදත් අදත් මතුවටත් සිඟමන් යදිමින් තම පණ නළ රැක ගැනීමට තැත් කරයි.කවියා “හිඟන්නා”පද්‍ය පන්තිය රචනා කර ඇත්තේ තම උපමා කොට ගෙනය.හිඟන්නාගේ ජිවිතයේ සැබෑ ස්වරූපය රසිකයා වෙතට ගෙන හැර දැක්වීම කවියාගේ ප්‍රධාන අරමුණ වී ඇත.

“නැත මා රකිනා මවක් පියෙක්,
නැත නෑදෑ හිතවත් කෙනෙක්  කිසිත්.
අඳුර යි  මුළු ජීවිතේ ම-ගේ,
වෙන නෑ මා වැනි කාලකන්නියෙක්”

හිඟන්නා තනි වූ පුද්ගලයෙකි.මවකගේ කුසකින් මෙලොව එලිය දුටුවද ඔහු රැකගන්නට මවක්,පියෙක් හෝ නෑදෑයෙක්  පව මෙලොව නැත.ජිවිතයේ ඉරණම කාලයට බාරදී  හිස් බවින් යුතුව කාලය ගෙවා දැමීම හිඟන්නාට පුරුදු රැකියාවයි.ඔහුගේ මුළු ජිවිතයම අඳුරු වන්නේ එම නිසාය.එනමුත් කරන්නටද කිසිවක් නොමැත.ගැනීමට කාලකන්නියා යනුවෙන් තමාට ආමන්ත්‍රණය කර පවා හිඟන්නා නොපලිලෙන්නේද යම් විටෙක මේ නිසා විය හැකිය.හිඟන්නාගේ සැබෑ ජිවිතයේ යථාර්තයද මෙයමය.
                       
““කැරපන් වැඩ ගොස් හිඟා නො කා
කීම?අත් පා නැතුවා ද? ”ඈ කියා
එළවීම ඉතා ම පාසු වෙයි
“වැඩ  දෙන්නැ”යි කියුවත් වැඩක් නො දෙත්.”

හිඟන්නාට සමාජයෙන් දෝෂාරෝපණ එල්ල වීම ස්වභාවිකය.බොහෝ අය ඔවුනට දොස් පවසනුයේ තමාගේ සවි ශක්තියෙන් ප්‍රයෝජන නොගන්නා නිසාය.නමුත් ඔවුනට වැඩ රාජකාරි පැවරිය යුතු වන්නේදද අප විසිනි.වැඩක් කිරීමට ඉල්ලමින් නිවසට පැමිණෙන හිඟන්නාට යමක් දී පිටත් කර හැරීමට හුරු වී තිබේ.යම් විටෙක එය හිඟන්නා කෙරෙහි විශ්වාසයක් නොතිබෙන නිසා විය හැකිය.එසේ බලන කල ඔවුනට දොස් පැවරීම සාදාරණ නොවන්නේය.ඒ මක් නිසාද යත් අප විසින් අප විසින් ඔවුනට වැඩ නොපවරුවහොත් ඔවුනට කිරීමට කිසිවක් නොමැති වීමයි.එවිට ඔවුන්ට සිදු වන්නේ පුරුදු ලෙසම සිඟමන් යැදීමටත් සමාජයේ රොස්පරොලු වලට මුහුණ දීමටය.

“ දනයෙන් පෙර පින් බෙලෙන් ලැබූ
පල  ගන්නා හැටි දන්නෙ නෑ ඔවුන්.
එහෙයින් මම නම් ඔවුන් කෙරේ
අනුකම්පාවට සිත් නමා සිටිම්.”    

අපට යම් යම් දේවල් ලැබීමටත් නොලබිමටත් පෙර පින් පව් බලපාන බව බෞද්ධයන් ලෙස අපි විශ්වාස කරමු.පෙර ආත්ම භවයන් වල කරන ලද කුසල් හේතු කොට ගෙන මේ ආත්මයේදී සැනසිලි දායක  ජිවිත ගත කරන අය අප සමාජයේ ඕනෑ තරම් සිටිත්.නමුත් හිඟන්නා එලෙස නොවේ.මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබීමට පින් කලද ජිවිතයට සැනසීම ලබා ගැනීමට තරම් ඕහු කල පින් ප්‍රමාණවත් නොවීය.හිඟන්නා කිසි විටෙක තෘප්තිමත් වන්නේද නැත.පෙර පින් ඇතිව මිනිසත් බව ලද බොහෝ අය දැන් දීමට නැඹුරු නොවෙති.කෙතරම් දනය ඉපයුවද සෑහීමට පත් නොවන්නේ තුවාලයක් ලෙසය.කිසිදු පරිත්‍යාගයක් අන් අයට නොකර ලෝභී සිතින් කාලය ගත කරන බොහෝ දෙනා අද සමාජය තුල සිටිති.හිඟන්නා ඔවුනට පවසන්නේ උපදින ඊළඟ ආත්ම භාවයේදී තමා වැනි හිඟන්නෙක් ලෙස මෙලොව එලිය දැකීමට ඔවුන් මග බලන බවයි.එහෙයින් ඔවුන්ට අනුකම්පා කරන බවද හිඟන්නා පවසයි.

මේ ආකාරයෙන් හිඟන්නාගේ සැබෑ ස්වරූපයත් සමාජයේ යම් යම් අඩුලුහුඬුකමුත් ඉතා සියුම් ලෙස සමාජ ගත කිරීමට මුනිදාසයන් සමත් වී ඇත.එළිසමය හෝ උපමාලංකාර පැදි පෙළෙහි අන්තර්ගත නොවුවද එය කවියට බලපෑමක් කවියේ අර්ථයට බලපෑමක්  සිදු කර නොමැත.හිඟන්නා දෙස සාදාරණ ඇසකින් බැලීමටත් යහපත් ක්‍රියාවන්ට රසිකයා යොමු කිරීමටත් කවියාගේ හුදු අපේක්ෂාව නොවූවද කවිය මගින් එය ඉටු වී ඇත.මෙහි කවියාගේ ප්‍රදාන අරමුණ වී ඇත්තේ හිඟන්නෙකුගේ ජිවිත අන්දරයත්,ඔහුගේ සිතිවිලිත් පැවසීමටය.කෙසේ වුවද සමාජ යථාර්තය රසිකයා වෙත ගෙන හැර දැක්වීමට කවිය දක්වා ඇති දක්ෂතාවය අපුරුය.




2 comments:

geethika said...

ස්තුතියි ...

geethika said...
This comment has been removed by the author.