Popular Posts

Blogger templates

Blogger news

Blogroll

About

Powered by Blogger.
Thursday, November 26, 2015





සිරිමලී- එච්.එම්.කුඩලිගම



හැකිලෙන අතර මහ වන මැද හිරු        එළිය
රසවත් කොට මගේ කවි සිතිවිලි          වලිය
මට මුණ ගැහෙන මේ ළදැරිය සිරි         මලිය
හරි හුරතල්ය හුරුබුහුටි ය  සියු              මැලිය

කෙකටිය ඕලු නෙලමින් හෝ අසල      ගඟේ
ගී කිය කියා දර කඩමින් ඉවුරු              දිගේ
දුව පැන නටන කෙළිබර තුනු සපුව      ඇගේ
හැම හැන්දෑවකම හසුවේ ඇසට            මගේ


සමහර දාට ඈ කසුකුසුවට                    ගන්නා
පරවියකුගේ තටු පිරිමැද  මැද               උන්නා
සාවකු කුරුල්ලකු මිස වන මැද             ඉන්නා
වෙන යහළුවකු ගැන නොදනිමි ඇය      දන්නා

ඇය සුදු පරවියන් රෑනක් ඉදිරි                පිට
ඇටයෙන් ඇටය බිම දමමින් තිරිඟු         ඇට
සුළගේ ගීතවත් වන උණ පඳුර               යට
මතකය හමු වුණා තව දවසකදී               මට

අද තෙක් මිනිස් හෙවණක ලොව දකින   ලද
ලස්සන දැකුම්කලු බව නම් ඇය ම           වද
ඇයගේ ගොපලු පැල හෙළ කඳු වළලු      මැද
නිල ඕවිටක විය බටකොළ පියස්             බැඳ

සෞන්දර්ය වූ කලී ජීවිතය හා බැඳී පවතින රමණීය වූත් ආස්වාද ජනක වූත් සංකල්පයකි.සොබාදහමේ විවිධ විචිත්‍ර නිර්මාණ දැකීමෙන් හා ඒවා ආස්වාදය කිරීමෙන් අපේ හදවතට දැනෙන්නේ නිරාමිස ප්‍රීතියකි.සිරිමලී නම් වූ කුඩා දැරියද සොබාදහමේ අසිරිමත් නිර්මාණයක් වී ඇති අයුරු කියා පෑමට එච්.එම්. කුඩලිගම කවියා තම පද්‍ය පන්තිය මගින් උත්සහ දරා ඇති බව පෙනේ.බටහිර රොමැන්ටික් කාව්‍ය සම්ප්‍රදායේ දැඩි ආභාසයක් ලද කවියෙකු වූ කුඩලිගම ස්වභාවික  සෞන්දර්යයේ චමත්කාරය සිය නිර්මාණය මගින් මැනවින් ගෙනහැර දැක්  වූ කවියෙකි.මෙම පද්‍ය පන්තිය මගින්ද ඕහු උත්සහ දරා ඇත්තේ සිරිමලී නම් වූ සුරතල් ගැමි දැරියක පිළිබඳව භාවාත්මක වර්ණනයක් ඉදිරිපත් කිරීමට බව පෙනේ.

සොබාදහමේ නීති සිදුවන හිරු බැස යාමේ ක්‍රියාවලිය ඉතා සුක්ෂම ලෙස වර්ණනා කරමින් කවියා තමා තුල වන ස්වභාව සෞන්දර්ය වර්ණනා කිරීමේ හැකියාව වඩාත් ත්‍රිවුර කරමින් තම පද්‍ය පන්තිය වෙතට ප්‍රවේශ වේ.එනම්
             ‘’ හැකිලෙන අතර මහ වන මැද හිරු        එළිය”
ලෙසිනි.මෙසේ තම කාව්‍යට ප්‍රවේශ වන කවියා සිරිමලියගේ ස්වභාවය ,හැසිරීම,චරිත ලක්ෂණ සහදයා වෙතට ඉදිරිපත් කරන්නේ සිරිමලිය නම් වූ දැරිය පිළිබඳව  ශ්‍රාවකයා තුල චිත්‍ර රූප මවමිනි.දැරියගේ සුරතල් ස්වභාවය ,අහිංසක බව,සියුමැලි බව  ආදී වූ ලක්ෂණයන්
               “හරි හුරතල්ය හුරුබුහුටි ය  සියු              මැලිය “
යන පද පේලිය මගින් මනාවට ගෙන හැර දක්වා ඇත.

සිරිමලියගේ හැසිරීම් රටාවන්,ඇයගේ දින චර්යාවන්, ඇයගේ කෙළිලොල් ස්වභාවය ආදිය කවියා මීළඟට ශ්‍රාවකයා වෙතට ඉදිරිපත් කරනු ලැබේ.අසල ගඟෙහි කෙකටිය,ඕලු ආදී වූ මල් නෙලමින් ගී ගයනා කරමින්,දර කඩමින් දුව පැන නටන අකාරය  ශ්‍රාවකයා තුල චිත්ත රුප මැවෙන ආකාරයෙන් ඉතාමත් අපුර්ව ආකාරයට කවිය ඉදිරිපත් කරන්නේ මෙසේය.
               “කෙකටිය ඕලු නෙලමින් හෝ අසල      ගඟේ
                 ගී කිය කියා දර කඩමින් ඉවුරු              දිගේ ”
එසේම  
              “දුව පැන නටන කෙළිබර තුනු සපුව      ඇගේ ”
මගින් සිරිමලියගේ සුන්දරත්වයද ඉතාමත් මනාවට පිළිබිඹු කිරීමට කවියා සමත් වී ඇත බව අවිවාදයෙන් යුතුව පිළිගත හැකි කරුණකි.

වනාන්තරයක් ආශ්‍රිත ව දිවි ගෙවන්නා වූ සිරිමලියගේ මිතුරන් වූ කලි වනාන්තරයේ වෙසෙන්නා වූ අහිංසක සත්වයන්ය.එනම් සාවුන්,මුවන්,කුරුල්ලන් වැන්නවුන්ය.ඇයගේ දිවිය ගෙවෙන්නේ එවනි අහිංසක සතුන් සමගය.ඇය මෙසේ උන්ට අහාර සපයමින් අහිංසක දිවි පෙවතක් ගෙවන අකාරය මී ළඟ කවිය මගින් ගම්‍ය වේ.එසේම කවිය තුල පවත්නා වූ  ස්වභාව සෞන්දර්ය වර්ණනා කිරීමේ හැකියාව තව තවත් පිළිබිඹු කරන්නා වූ ලෙසද මෙය හැඳින්විය හැකිය.
              සුළගේ ගීතවත් වන උණ පඳුර               යට”
එනම් සුළඟ නිසා හඬ නගන්නා වූ උණ ගස් වල නාදය මෙමගින් සෞන්දර්යත්මක ලෙස,කාව්‍යාත්මක ලෙස  ගෙන හැර දැක්වීමට  කවිය සමත් කම් දක්වා ඇත.

මහා වනාන්තරයේ කඳු වැටි වලින් වටවී ඇති සිරිමලියගේ සුන්දර වූ නිවස පිළිබඳව මෙන්ම සිරිමලියගේ අහිංසක,දුප්පත් ස්වභාවය පිළිබඳව කවිය මීළඟ කවිය මගින් විග්‍රහ කර ඇත.මෙහිදී හේ සරල වූත් සුන්දර වූත් වාග් මාලාවක් භාවිතාකර ඇති අතරම මෙහිදී  ශ්‍රාවකයා තුල දැඩි අනුකම්පාවක් ඇති කිරීමට සමත් වී ඇත.එනම් එය අපට
              අද තෙක් මිනිස් හෙවණක ලොව දකින   ලද
               ලස්සන දැකුම්කලු බව නම් ඇය ම           වද
              ඇයගේ ගොපලු පැල හෙළ කඳු වළලු      මැද
              නිල ඕවිටක විය බටකොළ පියස්             බැඳ
මෙහිදීද කවියා සොබාදහම වර්ණනයේ තමා තුල ඇති හැකියාව මනා ලෙස නැවතත් පිළිබිඹු කර ඇත.

සමස්ථයක් වශයෙන් ගත්කල සිරිමලී කාව්‍ය පන්තිය රචනයේදී කවියා සුළු පද මාලාවක් උපයෝගී කරගන්න කවියා ප්‍රස්තුතයට උචිත පරිදි භාෂාව හා රිද්මයද හසුරුවා ඇත.සිය අරමුණ ඉටු කර ගැනීම සඳහා කවියා සංයමය හා විවේක බුද්ධිය ප්‍රශස්තිය ප්‍රකට කර අතර මෙය කවියක් වශයෙන් රසිකයන් අතර ජනප්‍රිය වීමට එහි තුළ සරල බස් වහරක් යොදා ගැනීම මෙන්ම එහි ඇති   කාව්‍ය ලක්ෂණ උපකාරී වී ඇත. සොබාදහම වර්ණනයේදී ඒ පිළිබඳව කවියා තුල පවත්නා සහජ හැකියාව නිරන්තරයෙන්ම පිළිබිඹු වී අතර  ඒ නිසාම සිරිමලී කාව්‍ය පන්තිය කාව්‍ය ලක්ෂණයන්ගෙන් පිරිපුන් සියුම් කවිත්වයක් හා පරිකල්පන ශක්තියක් ප්‍රකට කරන නිර්මාණයක් ලෙස අගය කල හැක.





    

                                              



0 comments: