Popular Posts

Blogger templates

Blogger news

Blogroll

About

Powered by Blogger.
Wednesday, December 9, 2015


පරලොවට පණිවුඩයක් -ජී.එච් පෙරේරා


ළඟදි ඔය පලාතෙන් බැල්ම ලා මේ රටෙහී
උපදින අය ඇත්නම් කාරියක් මම් කියන්නම්
කලදි අපට කිව්වේ නෑ කියා ඊට පස්සේ
වැරදි කියනවාටයි කල්තියා මේ කියන්නේ

රට බොහොම අසාරයි,ඉන්නවුන්ගෙත් විකාරයි
පිට ඔපයට සූරයි,කම්මැලියි,බාරදූරයි
අට පහ නොම තේරෙයි,වල් සිරිත් පාර බේරයි
පිට රටට වදාරයි,කාපු දේවත් වමාරයි

ගත සිත නැත උස්සා ආදි ඇත්තන් විලස්සා
එයිනි නොර වැස්සා ගෙන් හිඟා කෑම රිස්සා
පුටුව පිටම රස්සා වෙන්ට නම් සී පරිස්සා
විය යුතුය සුදුස්සා වී මෙහෙ එන්ට ලිස්සා

උගත යුතුය ඉංග්‍රීස් ඒ නමුත් පොඩ්ඩකින් බෑ
එහෙම ඉගෙන ගන්ටත් කාලයක් ලේසියක් නෑ
එයිනි ඔය රටේ බී.ඒ. වලින්වත් සමත් වී
පැමිණිය යුතු බැව් ඕනෑකමින් දන්නවන්නෙම්

සිහල බස කමක් නෑ,ඒ උගැන්මෙන් පලක් නෑ
ඉහල ගිය කෙනෙක් නෑ,ඉන් සකුත් පාලි කම් නෑ
අහලක උගතෙක්  නැත්නම් කොහේවත් ගොහිල්ලා
දෙමල බස ටිකක් වත් පාඩුවක් නෑ උගත්තොත්

සිහල සිරිත දැන් නම් තුට්ටුවක් නෑ වටින්නේ
නැටුම සහ පියානා සර්පිනා තාල ඕනෑ
මෙහි එන හෙටනිද්දා ගෑනු ඇත්නම් ඔහේදී
වැඩිය හොඳට මේවායේ සමත් වෙන්ට ඕනෑ

කොයික වැරදුනත් මේ නම් වරද්දන්ට   එපා
කළු හැම ලැබුනෝතින් වෙන්නෙ ඔක්කෝම පාඩුයි
ඔළු ගෙඩි බිම ගස්සා ,කාගෙනුත් ගන්ටත් පූජා
හම සුදුවට නැත්නම් සායමක්වත්  ගෙනෙල්ලා

සංස්කෘතිය යනු මානවය සිය ඉතිහාසය මුළුල්ලේම රැස් කල ඔහුගේ ඥානමය සහ භාවමය සම්පත් සමූහයයි.භාවමය සම්පත් යනු ඔහුගේ සාහිත්‍ය කලාදියයි.එකී සාහිත්‍ය කලාවන් අතර කවිය විශිෂ්ටතම කලා අංගයක්  වනු පමණක් නොව,සූක්ෂම කලාංගයක් ද වේ.කවිය විශිෂ්ටතම කලාංගයක් වශයෙන් සැලකෙන්නේ එය සෙසු බොහෝ කලාවන්ටද මාතෘ කලාවක් වන බැවිනි.කවිය බොහෝ විට සමාජ යථාර්තය ස්පර්ශ කරලීමට තරම් සමත් වෙයි.යම් කිසි කවියෙකු අත්දකින හෝ වින්දනය කරන ආනුභුතිය රසිකයකුට අපූර්වත්වයෙන් කියා පෑමක් කවිය තුළ දක්නට ලැබෙයි.එය විටෙක කිසියම් පුද්ගලික හැඟීමක් හෝ කිසියම් මානසික විවරණයක් හෝ කිසියම් දාර්ශනික මතයක් හෝ ප්‍රේමය ,වෛරය,තණ්හාව වැනි හැඟීමක් හෝ කවියාට අනුභූතිය විය හැකිය.

කවියක සාඩම්බර හිමිකරුවා  වන්නේ කවියාය.ඉතා සුන්දර වදන් කිහිපයකින් පවා තම යටි අරමුණ රසිකයාට පහදා  දීමට තරම් සමත් වන්නේ ඒ කවිය ප්‍රතිභාපුර්ණ බැවින් යුතු නිසාය.දිගු ඉතිහාසයකට උරුමකම් කියන පද්‍ය සාහිත්‍ය කලාවක් අපට උරුම වී ඇත.දක්ෂ ප්‍රතිභාපුර්ණ කවීන්ගේ අත්‍යාලංකාර නිර්මාණ වලින් ඒ ලොව පෝෂිතය.ජි.එච්.පෙරේරා යනු එලෙස පද්‍ය කල ලොව පෝෂණය කිරීම උදෙසා අර්ථවත් නිර්මාණයන්ගෙන් දායක වූ විශිෂ්ටතම කවියෙකි.ඔහුගේ “පරලොවට පණිවුඩයක්”යන පද්‍ය නිර්මාණය අග්‍රගණ්‍ය ම නිර්මාණයක් ලෙස දැක්විය හැකිය.සමකාලීන මධ්‍යම පාන්තික සිංහලයන්ගේ බටහිර ගැති,අනුකරණාත්මක ගති සිරිත් උපහාසාත්මක අයුරින් ඉදිරිපත් කිරීමට කවියාගේ යටි අරමුණ වී ඇති බව පෙනේ.
  
                      “ළඟදි ඔය පලාතෙන් බැල්ම ලා මේ රටෙහී
උපදින අය ඇත්නම් කාරියක් මම් කියන්නම්
කලදි අපට කිව්වේ නෑ කියා ඊට පස්සේ
වැරදි කියනවාටයි කල්තියා මේ කියන්නේ”

කෙනෙකුගේ  ජිවිතා යුෂ කෙළවර වූ කල්හි නැවත කුසයක පිළිසිඳ ගැනීමක් වන තුරු ආත්මය අවට සැරි සරමින් සිටියි.එවැනි පරලොවක වෙසෙන්නවුන්ට අප රටා පිළිබඳව දැනමුතුකම් ලබා දීම කවියාගේ හුදු අපේක්ෂාව වී ඇත. ලංකාවෙහි ඉපදීමට බලාපොරොත්තු වන පරලොව ආත්මයන්ට මේ රටෙහි එළිය දකින්නට පෙර සපුරා තිබිය යුතු සුදුසුකම් කවි පෙළෙහි අවසාන පදය දක්වාම සවිස්තරව ඉදිරිපත් කර ඇත.

“රට බොහොම අසාරයි,ඉන්නවුන්ගෙත් විකාරයි
පිට ඔපයට සූරයි,කම්මැලියි,බාරදූරයි
අට පහ නොම තේරෙයි,වල් සිරිත් පාර බේරයි
පිට රටට වදාරයි,කාපු දේවත් වමාරයි”

රටෙහි පැවති සාරවත් බව වියැකී ගොස්ය.පරලොවින් මෙරට පැමිණීමට බලාපොරොත්තු වන පිරිස් භාහිර ස්වරූපය ගැන පමණක් සිතන, කම්මැලිකමින් කල් ගෙවන, දේශීයත්වය පසෙක ලා පරගැති සිතින් ක්‍රියා කරන පිරිස් විය යුතු බව කවියා පවසයි.ලාංකික ජන සිත් වලට චෝදනාත්මක ස්වරුපයෙන් යුතුව පරලොව ආත්මයන්ට ලාංකික දුබලතා හඳුන්වා දීමක් මෙම මෙම කවිය තුල දක්නට දක්නට ලැබේ.ලංකේය ජන සංස්කෘතිය මිනිස් සිත් සතන් වලින් අතුරුදන් වී ගොස් පරගැති සිරිත් එම සිත් ආක්‍රමණය කර ඇති ආකාරය කවියා මැනවින් පෙන්වා දී ඇත.

“උගත යුතුය ඉංග්‍රීස් ඒ නමුත් පොඩ්ඩකින් බෑ
එහෙම ඉගෙන ගන්ටත් කාලයක් ලේසියක් නෑ
එයිනි ඔය රටේ බී.ඒ. වලින්වත් සමත් වී
පැමිණිය යුතු බැව් ඕනෑකමින් දන්නවන්නෙම්” 

සිංහල බස හෙළ මව් භාෂාව වුවද වර්තමානය වන විට එයට හිමිව තිබූ උසස් නිලතලය අහිමි වී ගොස් ඇත.ඒ වෙනුවට ඉංග්‍රීසි භාෂාව සැමගේ ගැලවුම්කරුවා බවට පත් වී ඇත.ජාත්‍යන්තර භාෂාවක් ලෙස ඉංග්‍රීසි ඉගෙනුම වැදගත්ය.එනමුත් තම මව් භාෂාව පළමුවත්,ඊට දෙවනුව ඉංග්‍රීසි භාෂාවත් ඉගෙන ගත යුතුය.රටට හිතැති සැබෑ ලාංකිකයෙකු වන්නේ එවිටය.නමුත් අද වන විට ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමට පෙළඹී සිටින්නේ එය තම මව් භාෂාව ලෙස සැලකිල්ලට ගනිමින්ය.එබැවින් කවියා පරලොව ආත්මයන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙරට ඉපදීමට ප්‍රථම ඉංග්‍රීසි භාෂාව ඉතා උසස් ලෙස ඉගෙන ගෙන උපාධියද  රැගෙන පැමිණෙන ලෙසය.එවිට ලංකාවේ පවතින ඉංග්‍රීසි උගත් ,නූගත් පංති භේදයට විරාමයක් ලැබෙනු ඇත.

“කොයික වැරදුනත් මේ නම් වරද්දන්ට   එපා
කළු හැම ලැබුනෝතින් වෙන්නෙ ඔක්කෝම පාඩුයි
ඔළු ගෙඩි බිම ගස්සා ,කාගෙනුත් ගන්ටත් පූජා
හම සුදුවට නැත්නම් සායමක්වත්  ගෙනෙල්ලා   

මෙම පඩි පෙළ හරහා කවියා ව්‍යංගයෙන් පවසා ඇත්තේ ලංකාවේ ඉපදෙනවානම් විදේශිකයෙකු ලෙස ඉපදෙන ලෙසටය.ලාංකික සිංහලයෙකු ලෙස ඉපදෙන තැනැත්තන්ට මෙහිදී ලබෙනුයේ කුඩම්මාගේ සැලකිලිය.සුදු පැහැපත් ශරීරයකට උරුමකම් කියන තැනැත්තෙක් නොවන්නේ නම්  සායමක්වත් ගෙන එන ලෙස උපහාසාත්මක ලෙස දක්වමින් කවියා පරලොව ආත්මයන්ට ඇරයුම් කරයි.ලාංකික හදවත් වල පවතින පරගැති බව එයින්ම රසික හදවතකට වැටහ ගත හැකිය.

මේ ආකාරයට රටෙහි පවතින අසරවත්බව පරලොව ආත්මයන්ට කරන දැනමුතුකම් දීමක් හරහා ඉදිරිපත් කිරීමට කවියා සමත් වී ඇත.කවියා අතින් මේ පද්‍ය නිර්මාණය වී ඇත්තේ 1925දීය.එම කාලයේදී පැවති ලාංකික දුබලතා අදටත් නොනැසී ඒ ආකාරයෙන්ම පවතියි.මෙහිදී ජි.එච්.පෙරේරා නමැති අද්විතීය කවියා අනාගතය විනිවිද දකින ලද දක්ෂ කවියෙකු ලෙස හැඳින්විය හැක.ඕහු එදා දුටු ලාංකික සමාජය ඔහුගේ අභාවයෙන් දශක කිහිපයකට පසුවද ඒ අයුරින්ම දක්නට ලැබීම ලාංකිකයන් වන අප වෙත ප්‍රවිෂ්ට  වූ  අභාග්‍යකි.ව්‍යවහාරත්මක ස්වරූපයකින් පඩි පෙළ රචනා වුවද  කවියෙහි බොහෝ තැන්වල එළිසමයද ආරක්ෂා වී ඇත.එසේම චෝදනාත්මක ස්වරුපය,උපහාසාත්මක ස්වරූපය හා කවියා තුල පවතින්නා වූ පසුතැවිලි ස්වභාවය මෙම පැදි පෙළ තුලින් පැහැදිලිව ඉදිරිපත් වී ඇත.එනම් මේ සියලු කාරණා සලක බලන කල්හි ජි.එච්.පෙරේරා අතින් රචනා වූ “පරලොවට පණිවුඩයක්  පද්‍ය නිර්මාණය අතිශයින්ම සාර්ථක නිර්මාණයක් වශයෙන් අගය කල හැක.එනම් එය එදාටත්,අදටත්,හෙටටත් එක ලෙසින්ම වලංගු වන නිර්මාණයක් වීම විශේෂිතය.   






 






 

0 comments: