Popular Posts

Blogger templates

Blogger news

Blogroll

About

Powered by Blogger.
Monday, December 7, 2015


අම්මා-මහගමසේකර.


ඔබා දෙදණ නිල උඳුපියලි බිම මත
වැන්දේය ඔහු බැති සිතින්
අම්මා වැලලූ තැන මහපොළොවට
පිපිලා තිබුණි එතැන සුදු පාටට
නමක් නොමැති පුංචි මලක්
සිම්බේ ය ඔහු එමල හිස නමා

දස මසක් කුස තුළෙහි දරා සිට
 මා ලොවට වැදු අම්මා නුඹය
කෙළවරක් නොමැති දුක් දරා විඳ 
 මා ලොවට හැදූ අම්මා නුඹය


අඬන විට මා කුඩා අවධියෙහි බඩගිනිව
තම්බා බතල දළු
ලුණු දියර ඉස
පොල් ගා මුසු කොට කවා
බඩගිනි නිවූ අම්මා ඔබය

උයා උදයෙන් නැගිට කඩයප්පන්
තබා තේ කඩයෙහි
ලබා ඉන් ලැබෙන සුළු වට්ටම
ජංගි  ඇන්දූ  අම්මා ඔබය

ගලවා හිසෙහි තෙල් යහමින්
 එල්ලා කරෙහි පංචායුධය                     
 අල්ලාගෙන අතින් මා
පාසලට එක්ක ගිය
අකුරු නූගත් අම්මා නුඹය

ඇවිද ලඳු දෙණි කැලෑ බිම්වල
රැගෙන විත් තුන්හිරිය පන් කොළ
යොදා කුකුල් සායම් රතු හා කොළ
වියා නෙක්  විසිතුරු රටා පැදුරු
රටාවක් බව මේ මහා විශ්වය
කුඩා කල සිට ම මට
කියා දුන් අම්මා ඔබය

නොදත්තෙමි මම එකල
අම්මේ,ඔබේ වත කැටපතක් බව
මෙකල මා සිත  පිළිඹිබු කරන;
ගිලී යට ගිය ඇස් කුහර තුළ
නොදුටුවෙමි කිසි විටෙක සතුටක්
නොදුටුවෙමි කිසි විටෙක දුකකුත්;
ඉවසා සම සිතින් සැම සැප දුක්
ලැබුවා ද ඔබා සිතෙහි සාමයක්?
ඉපයුවෙමි මිළ මුදල්
ඉපයුවෙමි කිතු යසස්
වීය මන්දිර යාන වාහන
එහෙත් ඒ කිසිවකිනුත්
නොලදිමි සිත් සැනසුමක්
වටහාගෙන සිටියාද ඔබ ඒ සත්‍ය
නොලබාම ඒ කිසිවක්?

කවිය වූ කලි එක්තරා ආකාරයක කලාවකි.මිනිසා පිනවීමේ හැකියාවකින් කලාව සන්නද්දව පවතී.කලාකාමී රසිකයන්ගේ ගේ සිත් සතන් ඇඳ බැඳ ගනිමින් එම සිත් තුල වැජබීමට කවිය සමත් වේ.විශ්වනාත පඬිවරයා විසින් කවිය යනු රසවත් වැකියක් බව පවසා ඇත්තේද  එනිසා විය හැකිය.ඕහු පවසා වචන කිහිපය තුල සැඟවුන අරුතද ඉතා විශාලය.කෙසේ වුවද. කවිය කලාවක් ලෙස ශ්‍රාවකයා වෙත සමීප කරලිමට නම් කවියා ප්‍රතිභාපුර්ණ බැවින් අග තැන්පත් විය යුතුය.එවැනි කවීන් රැසක් පද්‍ය සාහිත්‍ය තුල අපට නිරන්තරයෙන්ම මුණ  ගැසේ.මහගමසේකර වූ කලි ප්‍රතිභාපුර්ණ දක්ෂ   කවියෙකි.ඉතාමත් රසවත් බැවින් ඉහල පද්‍ය නිර්මාණ රැසක්  ශ්‍රාවකයා වෙත තිළිණ කරමින්තුල  පද්‍ය සාහිත්‍ය  වැජබෙන චරිතයක් ලෙස මහගමසේකරයන් හැඳින්විය හැක.එතුමා විසින් රචනා කරන ලද “අම්මා”නම් පද්‍ය නිර්මාණයද එලෙස රසික හදවත් වලට සමීප වූ අග්‍රගණ්‍ය පද්‍ය නිර්මාණයකි.
මෙලොව එලිය බලන ඕනෑම කෙනෙකුගේ හදවතට මනසට සමීපම  රුව වන්නේ දයාබර අම්මාය.තමාට අහිමි වූ ලොවෙහි සාඩම්බර හිමිකරුවන් බවට තම දූ දරුවන් පත් කිරීමට මව මෙන්ම පියාද උත්සුක වී කටයුතු කරති.මහගමසේකරයන් විසින් රචනා කරන ලද “අම්මා ”පද්‍ය නිර්මාණය එවැනි මවකගේ චරිතය ඉස්මතු කර පෙන්වන්නකි.එනම් නූගත් මවක් සිය පුතු උගත් චරිතවත් පුද්ගලයකු ලෙස සමාජ ගත කළද ඒ පුතුගෙන් සැලකුම් ලැබීමට නොඉඳ සදහටම පුතු අත හැර ගොස් ඇත. මිය ගිය මවගේ සොහොන සොහොන ළඟ ඉඳ අතීත ආවර්ජනයක යෙදෙන පුතු වස්තු විෂය කරගෙන මෙම  පද්‍ය නිර්මාණය බිහි වී තිබේ.
“දස මසක් කුස තුළෙහි දරා සිට
 මා ලොවට වැදු අම්මා නුඹය
 කෙළවරක් නොමැති දුක් දරා විඳ  
 මා ලොවට හැදූ අම්මා නුඹය”
දස මසක් කුස තුල දරා මෙලොවට බිහි කරන දරුවා උස මහත් කර ගැනීමට මවක් අපමණ දිරියක් යොදවනු ලැබේ.ඕනෑම දරුවකු තුළ මෙම හැඟීම හදවත් තුළ ජනිත වේ. දරුවා කෙරෙහි මව තුළ පවතින ආදරයයි මේ.දරුවාගේ කුසගිනි නිවමින් ,කිසිම අඩු පාඩුවක් සිදු නොවන අයුරින් මව දරුවා හදාවඩා ගන්නේ  මවකගේ මේ ස්වභාවය නිසාය.මවකගේ ආදරය එය නිසාය.
                        “ගලවා හිසෙහි තෙල් යහමින්
                         එල්ලා කරෙහි පංචායුධය
                         අල්ලාගෙන අතින් මා
                         පාසලට එක්ක ගිය
                         අකුරු නූගත් අම්මා නුඹය”
මෙම පැදි පෙළෙහි එන අම්මා නූගත්ය.නමුත් ඒ අකුරු ශාස්ත්‍රය නොදන්නා බැවිනි.අකුරු නොදත්තද ඇයට අන් සියල්ලම පිළිබඳව මනා අවබෝධයක් වැටහීමක් ඇත.සිය පුතා පාසැල වෙත යවන්නේද එම නිසාය.තමාට අහිමි වූ සුර සැප දරුවා හට ලබාදීම ඇයගේ එකම අභිප්‍රායයි.නමුත් ඒ චරිතවත් ආදර්ශවත්  පුද්ගලයකු ලෙසය.සිය පුතුගේ අතින් අල්ලාගෙන පාසලට පුතු කැඳවාගෙන යන මවගේ හිතේ ඇති බලාපොරොත්තු ගොන්නකි. ඒ බලාපොරොත්තු සැබෑ වන බව ඇයගේ විශ්වාසයි.
                        “ඉපයුවෙමි මිළ මුදල්
                         ඉපයුවෙමි කිතු යසස්
                         වීය මන්දිර යාන වාහන
                         එහෙත් ඒ කිසිවකිනුත්
                        නොලදිමි සිත් සැනසුමක්
                         වටහාගෙන සිටියාද ඔබ ඒ සත්‍ය
                         නොලබාම ඒ කිසිවක්”
පුතු විසින් සිය මවගේ සියලු බලාපොරොත්තු ඉෂ්ඨ කර ඇත.නමුත් සිය දෙනෙතින් එය දැකීමට තරම් මව පින් කර  නොමැත.පුතු සදාකාලිකවම ශෝක වන්නේ එම නිසාය.මවගේ සොහොන ළඟ වැලපෙමින් තම දුක් ගැනවිල්ල මවට හඬ නගා කියයි.අපමණ වූ දුක් ගැහැට විඳිමින් තමා මේ ලොවෙහි රජ කරවන්නට සියලු වෙර වීරිය යොදපු සිය මව පුතුගේ සුර ලොවට රැගෙන යාමට නොහැකි වීම පුතුට දරා ගත නොහැක.නමුත් යථාර්තයද මෙයමය.යම් විටෙක ඒ බව රසිකයාට පැවසීමද කවියාගේ තවත් එක අරමුණක් වන්නට ඇත.
මහගමසේකරයන් විසින් රචනා කරන ලද ඇති සාර්ථක පද්‍ය නිර්මාණයක් වශයෙන් “අම්මා ”පද්‍ය හැඳින් විය හැකි අතර මව කෙරෙහි  කරුණාව, ආදරය උද්දීපනය කිරීමට කවිය සාර්ථක ලෙස යොදා ගැනීමට කවිය සමත් කම් දක්වා ඇත.මවට දරුවා දක්වන ආදරය මෙයින් මනාවට පිළිඹිබු වේ.මවට දැඩි ලෙස ආදරය කරන දරුවකුගේ සිතිවිලිත් එතුලින් රසිකයාට සිතීමට යම් යම් ඉඟිත් කවිය මගින් සමාජ ගත කිරීමට මහගමසේකරයන් දක්වා ඇති දක්ෂතාවය අපුරුය.



 අමෝද්‍යා ඉඳුවරණි 
පේරාදෙණිය විශ්ව විද්‍යාලය



0 comments: